රතු පාට පොපි මල දෑගිලි අතර සිර කරගෙන සිටි ඔහු සිනා සෙන්නට වෑයම් කළා.ඔහු ඉදිරියේ තිබුනේ ගලාගෙන යන නිල් වන් ගංගාවක් සහ පැහැදිලි අහසක්.වටා පැතිර තිබු නිහඩ බව ඔහුට හිරිහැරයක් වුණා.කළු පාට සමණළයෙක් පියාඹගෙන විත් පොපි මල මත වැහුවා. මොහොතක් එහි පෙති අතර සැරිසැරූ සමණළයා ක්ෂණයෙන් ඉගිලිලා ගියා අහස දෙසට. ප්ලාස්ටික් පොපි මල ඔහු නැහැයට ළං කරලා තදින් හුස්ම ගත්තා. දිග සුසුමක් හෙළුවා. පොපි මල බිමට විසිකර දැමූ ඔහු හුන් තැනින් නැගිට්ටා. කළු පාට බුට් සපත්තුවට පොපි මල පෑගී ගියා. ඔහු නොනැවතී වේගයෙන් ඇවිද්දා.
ටවුම මැද්දෙන් ඔහු ඇවිදන් ගියා.කෑ ගසමින් බඩු විකුණා ගැනීමට උත්සාහා කරනා වෙළෙදුන් , දුම් දමමින් පියඹා යන වාහන,බලාපොරොත්තු දරාගෙන ඇවිදිනා ගැබිනි මවක්, ඔපා දූපා කියවමින් සිගරට් උරනා මිනිසුන්, ලේ වැකුණු පිහිය වනමින් සිනාසෙනා මස් කඩේ තරබාරු ගැහැනිය ඔහුට පෙනුනා. ඔහු ඇය ළග නතර වුණා. කකුළෙකු හම ගසමින් සිටි ඇය ඔහු දෙස බලා බුලත් කහටින් පිරි දත් දෙපළ විලිස්සා සිනාසුනා.
මහත්තයා මස් ටිකක් ගමුද?
ඔහු හිස දෙපසට වනලා අතින් දාඩිය පිරි නළළ පිරිමැද්දා. සෙබළෙකුගේ කාකි කබායක් පොරවා ගත් යාචකයෙක් වසා දැමූ කඩ කාමරයක් ඉදිරයේ සිගමන් යදිනවා ඔහු දුටුවා.
අලුත් මස් මහත්තයා.
ගැහැනිය ලේ වැකුණු පිහිය වතුර බාලිදියේ සද්දෙට ඔබමින් කිව්වා. ඔහු නොරිස්සුමෙන් ඇය දිහා බැලුවා. පළල් හැට්ට කරින් පිටතට බේරෙනා පියයුරු අතර සිරවී තිබූ මොණර කොළ දිලිසුනා. ඇය ඔහුගේ රතු පාට ඇස් දිහා බලුවා.
කිකිළියක් කපන්නද මහත්තයා ???? යමු අර පැත්තට... කොල්ලෝ කඩේ බලපන්
ඇය මස් කඩේ පසෙක ලී කොටයක ආසාවෙන් බීඩියක් උරමින් උන් හීන්දෑරි නාවර පෙරා සිටි කොල්ලට පවසා කඩේ පිටු පසට ගියා. ඔහු ඇය පිටුපසින් අඩිය තිබ්බා .
නන්දෙසින් වැක්කෙරෙනා මහා මස් ගොඩක් අතර ඔහු හිටියේ හති හලමින් . ඇගේ ගෙල අතින් සිරකරගත් ඔහු තව තවත් ඇය දෙසට තල්ලු වුණා වියරුවෙන්. ඇගේ හිනාව ඔහුව කුපිත කළා.ඇගෙන් ආ ලේ සුවද මුසු දාඩිය ගදට ඉව අල්ලමින් ඔහු ඇයගේ පියයුරු සපා කෑවා. ඇය තව තවත් හිනා වුණා. ඇයගේ තරබාරු ශරීරය සපා ඉරා වීසිකර දමන්නට ඔහුට ඕන වුණා. ඔහු ඇයව කිලිටි සීතල සිමෙන්ති පොළොවට සිර කරා. වෙඩි හඩ ඔහුට ඇසෙන්නට වුණා.හිස් මූණිස්සම් සද්දෙට වැටුණා.මිනිස්සුන්ගේ කෑ මොර දීමි ජීවිතය ඉල්ලා හඩන හඩ ඔහුට ඇසුනා. ඔහු වේගයෙන් වෙඩි තිබ්බා. තව තවත් වේගයෙන්.වෙඩි හඩ මැකී යනකල් මිනිසුන්ගේ හැඩුම් වියැකී යනකල් කදුළු පිරි මුහුණූ බොදවී යනකල් ඔහු වෙඩි තිබ්බා. අවසන ලේ සුවද උරමින් ඇගේ තරබාරු ශරීරය මධ්‍යයේ ඔහු හති හැලුවා.
---------------------------------------------------------
තාත්තේ මොනවද ටවුමෙන් ගෙනාවේ ???
කැඩුනු සෙල්ලම් කාර් එකක් අතින් තුරුළු කරන් හිටි පුංචි එකා ඔහු ඉදිරියට දුවන් ආවා. ඔහු අතේ තිබුණු පොලිතින් බෑගය ගන්නට වෑයම් කළා.
තාත්තේ කෝ ටොෆි ?????
දුහ් එහාට .... මුකුත් ගෙනාවේ නෑ බොල... ටොෆිම කන්නේ. කාපන් බත් ටිකක් බඩ පිරෙන්න. .පොඩි එකා කදුළු පුරෝගෙන කැඩුනු සෙල්ලම් කාරය අතින් ගෙන ආපහු හැරුනා.
ඔහු නිවසට ඇතුළු වුණා. කටු මැටි නිවසේ ඉරි තැළී ගිය බිත්තියකට හේත්තු කරලා තිබුනු තැනින් තැන වේවැල් කැඩී ගිය හාන්සි පුටුවේ ඔහු දිග ඇදුනා. ගෙතුළින් සාලයට ආවේ කිලිටි චීත්තයක් සහ හැට්ටයක් ඇද ගත් සිහින් සිරුරකින් යුතු තරුණියක්. ඇගේ මුහුණින් දිස් වුණේ වෙහෙස බවක්.
මොනවද ඔය අතේ තියෙන්නේ? ඇය ඔහුගේ අතේ තිබුනු බෑගය දෙස කුතුහලයෙන් ඇහුවා.
මස් ටිකක්.. හොද මිරිසට උයලා ගනින් .
ඇය ඔහු අතේ තිබූ බෑගය පිළිකුළෙන් අතට ගත්තා.
මේ කුණු සත්තු ගෙදරට ගේන්න එපා.ලේ ගන්ධස්කාරේ බෑ.
යකෝ දහස් ගණන් උන් එක්ක සටන් කරපු මේ ඇගට එළොළු බත් කන්න බෑ...
සද්දෙට එහෙම කියපු ඔහු පුටුවෙන් නැගිටලා ඇය දෙස නොබලා කාමරේට රිංගුවා. මස් බෑගය පසෙකින් තිබූ ඇය ඔහු පිටුපසින් කාමරේට ගියා.
-------------------------------------------------------------------
ඔහුට දැනුනේ මහා හිස්කමක්. ඊළගට මොනවද කරන්නේ කියන ප්‍රශ්නෙන් ඔහු දැඩිව පෙළුනා. හැම දේම එකපාරටම නිහඩ වෙලා. පාට වෙලා. මම තවදුරටත් කවුද කියලා මං දන්නෙ නෑ..ඔහු තමාටම කියාගත්තා.
ඔයා අමුතු වෙලා... ඇය ඔහුට ළං වුණා. ඔහු මුකුත්ම කියන්නේ නැතුව උන්නා.
පොඩි එකාවත් රුස්සන්නෙ නෑ. ඇය සුසුමක් හෙළුවා .
මට හැම දේම එපා වෙලා ... ඔහු ඇගේ ඇස් මගහරිමින් කිව්වා
ඇයි එහෙම හිතන්නේ? දැන් නපුරු කාලේ ඉවරයි. ඒත් ඔයාට ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. සටන් කරනවට වඩා කොච්චර හොදද හේන් කොටන එක?
ඔහු ඇයව පසෙකට තල්ලු කළා. ඔහුගේ දෙඇස් ගින්නෙන් දැවුනා. අත මිට මෙළවුනා. ඔහු සද්දෙට කෑ ගැහුවා.
තුවක්කු අල්ලපු මේ අත් වලට තෝ හිතනවද පොළව කොටන එක ලේසියි කියලා. යකෝ මං දන්නේ වෙඩි තියන්න. වම්බටු වවන්න නෙමේ.. මං වීරයෙක් .... ඔව් මං වීරයෙක්... ඔහු වියරුවෙන් ඇගේ උරහිස් අල්ලා තදින් හෙළෙව්වා.
මං වීරයෙක් ගෑනියේ.. .. උඹ විතරක් නෙමේ හැම එකාම නිදහසේ ඉන්නේ මං වගේ උන් නිසා.
ඇය බියෙන් වෙව්ළුවා. ඇස් අගින් කදුළු කඩා වැටුනා. පොඩි එකා හැංගිලා හිටියේ දොර මුල්ලේ...
ඔහු ඇද මත වාඩි වුණා. බිත්තියේ ඇණයක එල්ලා තිබූ කාකි කබාය දෙසට ඇගිලි දිගු කළා .
මගේ කබාය අරන් දීපන්..
ඇය ඉක්මනින් කබාය ගෙන ඔහුට දික් කළා.
ළගට වරෙන්.. ඔහු කබාය ,ඇදගෙන සිටි කමිසටය උඩින් ඇදගනිමින් කිව්වා. ඇය ළං වුණා බියෙන්.
ඔහු ඇයගේ අතින් අල්ලා ළගට ඇදගත්තා.
බලපන් මගේ දිහා... ඔහු තර්ජනාත්මකව ඇයට කිව්වා. ඇය කදුළු පිරි දෙඇසින් ඔහු දෙස බලුවා .
බලපන් මේ කබායට මං කොච්චර ලස්සනද කියලා.. බලපන් මං සිංහයෙක් වගේ.. උඹ දන්නවද උඹේ මිනිහා කාටවත්ම බය නෑ.උඹ දන්නවද මේ අතින් හතුරෝ පොකුරු පිටින් මරලා දාපු හැටි.. මං වීරයෙක් කියලා උඹ දන්නවද?
ඇය බියෙන් හිස වැනුවා..
උඹ වාසනාවන්තයි මං වගේ මිනිහෙක් ඉන්න එක.. මං හරි ශක්තිවන්ත එකෙක්... උඹ හිතනවද මං තුවක්කුව පැත්තකට දාලා හේන් කොටයි කියලා. ?
ඇය දිග සුසුමක් හෙළුවා..
නෑ ඔයා හේන් කොටන්න ඕන නෑ .ඔයා වීරයෙක්.. ඇය හැඩුම තදින් ගිලිගනිමින් සෙමෙන් කිව්වා. ඔහුට දැනුනෙ පුදුමාකාර සතුටක් ..ඔහුගේ පපුව ආඩම්බරයෙන් පිම්බුනා.වීරත්වයෙන් කුල්මත් වුණා.
ළගට වරෙන්...
ඔහු ඇයගේ නිකටින් අල්ලා දෙතොල් තදින් සිපගත්තා... ඇය අපුලෙන් වුණත් ඔහුව ඉවසුවා. ඔහු ඇගේ හැට්ටයේ බොත්තම් ගලවන්නට වුණා.
පුතා ඇති එළියේ... කළුවර වැටෙන කල් හිටියනං.... ඇය බියපත්වූ හඩින් කිව්වා.
එහෙනං වහපං කාමරේ දොර... යකෝ මං මාස ගණන් කැළේ වතුර උගුරක්වත් නැතුව මඩ කාගෙන සටන් කරා. උඹ ගැන විතරයි හිතන් හිටියේ..ඒත් උඹ කෙළෙහිගුණ නොදන්න බැල්ලියෙක්...
ඇය කථා නැතුවම නැගිට ගොස් කාමරේ දොර වහලා කිලිටි චීත්තෙයි කබායයි උනා දමා නිරුවත් වුණා. ඔහු ඇද විට්ටමට හේත්තු වුණා.දත් විලිස්සා හිනා වුණා.
ළගට වරෙන්... ඔහු අණ කළා .
ඇය බියෙන් ළං වුණා. ඇද යටට මදක් බරවූ ඔහු ඇද යට තිබූ තුවක්කුව අතට ගත්තා.
ඇය බියෙන් අඩියක් පස්සට වුණා..
ඔහු තුවක්කුව ඇයට ඉලක්ක කළා.. ඇය බියෙන් පිටුපසට වන්නට තනත්ම ,
හ්හ්හ්හාාාා..... යකෝ බයද උඹ තුවක්කුවට ???? වරෙන් ළගට ... හ් හ්.... තවත් ළං වෙයන්...
තුවක්කු කට ඇයගේ නාඹියට තියා තද කළ ඔහු හය්යෙන් හිනා වුණා.. ...
-----------------------------------------------------------------------------
රතු පාට ප්ලාස්ටික් පොපි මලක් අතේ හිරකරගත්ත ඔහු පිය නැගුවා විනාශ වී ගිය නගරයක් මධ්‍යයේ.. සොල්දාදුවන් කැඩී බිදී ගිය පාරවල් ගෙවල් හදමින් උන්නා. තවත් කොටසක් වේළිච්ච පොළොව කොටමින් හිටියේ වගා කරන්න. වට පිට බලමින් ඔහු ඇවිද්දා.. ඔහුගේ එක් උරහිසක තුවක්කුව එල්ලුනා. අනෙකේ කුඩා බෑගයක් තිබුනා.. කැඩී ගිය ගෙයක් ඉදිරිපිට කුඩා බංකු වල හිදගත් සෙබළුන් කාඩ් සෙල්ලම් කරන හැටි ඔහු දුටුවා.ඔවුන් හය්යෙන් හිනා වුණා.. ජාති බේදයක් නොතකමින් මිනිසුන් හා සෙබළුන් එක්ව නගරය අලුත් වැඩියා කරන අයුරු බලමින් ඔහු ඇවිද්දා... ප්ලාස්ටික් පොපි මල ඔහුගේ අතේ තව තවත් තදින් පොඩි වුණා. කළුවර වැටෙනකල් නගරය වටේ ඔහු ඇවිද්දා.. හැමෝම හිටියේ සාමය සමරමින් ප්‍රීතියෙන්.. ඔහුව කිසිවෙකුගේවත් අවධානයට ළක් වුණේ නෑ.. පාළුවට ගොස් තිබෙන මුර කපොළු ඔහු පහු කරන් ගියා.සෙබළු තොප්පි පැළද පුංචි උන් සෙල්ලම් කළා.ඔහුගේ ඇගේ හැප්පුනා..ඔහු දිගටම ඇවිද්දා.. හිත මහා අඩුවකින් පිරිලා තිබ්බේ. මේ හැම දේම අලුත්... හැමෝම සතුටින්... තවදුරටත් කිසිම එකෙක් බයෙන් විමසිල්ලෙන් ඉන්නෙ නෑ... මං මෙතන මොනවද කරන්නේ? ඔහු හිතුවා.
වයින් බොමින් ගිණි මැළයක් වටේ සෙබළුන් නටන්නට වුණා. සමහරක් සිංදු කිව්වා...
උදා වූ සාමයට....
එසේ කෑගසමින් හැමෝම වයින් බදුන් වලට වත් කරගත්තා.. ඔහු දැල්වෙන ගිනි දැල් දිහා බලන් උන්නා...
සහෝදරයා ඇයි නටන්නේ නැත්තේ ?? බීමත් සෙබළෙක් ඔහු ළගින් ඉදගත්තා..
ඔය තුවක්කුව පැත්තකින් තියලා නටන්න එන්න... අපි නටමු මිත්‍රයා..
ඔහු තුවක්කුව තවත් තදින් අල්ල ගත්තා...
බීමත් සෙබළා තවත් කථා කළා..
අපිට හතුරෝ නෑ මිත්‍රයා.. දැන් යුද්දෙ ඉවරයි.. තුවක්කු විසික් කරලා අපි ජීවත් වෙන්න ඕන.. වෙඩි සද්ද තවත් ඇහෙන්න ඕන නෑ සහෝදරයා.. දැන් සාමේ.. ඔව් සාමය අපි සටන් කරලා ගත්තා..
හුහ් යුද්දෙ ඉවරයි.. ඔහු උපහාසෙන් හඩ අවදි කළා
යුද්දේ අපිත් එක්ක බද්ධ වෙලා... නින්ද ගියත් වෙඩි සද්දෙ ඇහෙනවා.. තුවක්කුව නැතුව මේ අත් වැඩ කරන්නේ නෑ බං.. යුද්දේ ඉවරයි... එහෙනං අපි මොන උලව්වද බං කරන්නේ?
හ්හ්හාාාා සෙබළා ඔහුට හය්යෙන් හිනා වුණා..
දැන් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න දෙයක් නෑ මිත්‍රයා.. දැන් හතුරෝ මැරිලා ඉවරයි... අපි දැන් පාරවල් හදමු...ගෙවල් හදමු.. හේන් කොටමු... තුවක්කුව පැත්තකට දාමු මිත්‍රයා...
ඔහු වියරු වැටුනා.. ඇස් වළින් ගිණි පුළුගු විසික් වුණා.
යකෝ අපි වීරයෝ.... තුවක්කුව අපේ පණ ටික රැක්කා.. යකෝ මං වීරයෙක්....
ඔහු නැගිට කෑ ගැසුවා... මත් වූ සෙබළුන් ඔහු දිහා බලලා හය්යෙන් හිනා වුණා.. උන් තව තවත් හය්යෙන් සිංදු කිව්වා
සාමේ උදා වෙලා...
යුද්දය නතර වෙලා..
අපි නගරය හදමු.
වගා කරමු....
සුබ අනාගතයක් ....
සෙබළුන් හය්යෙන් ගායනා කළා.....
ඔහු උරහිසේ එල්ලා වැටුණා තුවක්කුව අතට ගත්තා පරණ පුරුදු විදියටම... ඔහු ඉදිරියෙන් සිටි සියල්ලන්ම හතුරන් මෙන් ඔහුට පෙනුනා.. මං වීරයෙක්.. තමාටම කියාගත්ත ඔහු මත් වී නටන සෙබළ පිරිස වෙත තුවක්කුව එල්ල කළා... සෙබළුන්ගේ ගායනාව වෙඩි හඩින් මැකී ගියා...