
මම මේ පොස්ට් එක ලිව්වේ දෙසැම්බර් මාසේ. එත් මේක save කරපු තැනක් හොයාගන්න මට බැරි උන නිසා මේක බ්ලොග් එකට දාන්න උනේ නැ.අහම්බෙන් අද මට අයෙත් ඒක හම්බුනා නිසා දෙසැම්බර් 15 වෙනිදා ඇය වෙනුවෙන් පළ කරන්නට සිතා සිටි මේ ලියමන අද දවසේ ඇය වෙනුවෙන්............
ඇය නමින් ඉලයතම්බි තර්සිනි ය. 1985 ශ්‍රීලංකාවේ යාපනය පුන්ගුටුතීවූ හී උපත ලැබූ ඇය අවාසනාවකට දමිල එමෙන්ම හින්දු වුවාය.. ඇගේ අවාසනාව තීරණය වුයේ ත්‍රස්තවාදය මත නොවේ .මා කතා කරන්නේ LTTE ත්‍රස්තවාදය ගැන හෝ එම ත්‍රස්තවාදය විසින් විනාශ කරනු ලැබූවන් පිලිබදව නොවේ. ත්‍රස්තවාදය මුවාවෙන් නිල ඇදුම් වලට වසන් වී ගත් අමනයන් විසින් පොඩි කර දැමූ මල් පොකුරු ගැනය . ජයග්‍රාහී සිංහල හමුදාව පිලිබදව ඉතා මානුෂීය කතන්දර කේන්ද්‍ර කරගත් සිනමා පටි තැනෙද්දී මල් මාල වලින් ඔවුන්ගේ ගෙලවල් වසා ගනිද්දී රට රැකු සිංහල හමුදාව උතුම් බව ලබද්දී තලා දැමුවා වූ මල් කැකුළු සීතල අදුරු පොලෝ ගැබ තුල සගවා දමද්දී ඒ මල් කැකුළු ගැන කතා කරන්නට විමසන්නට ඒක සිංහලයෙකු ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ .සිංහල හමුදාව දමිල තරුණියන් අතවරයට ලක් කර මර දැමීම පිළිගැනීමට ජාති ආලයෙන් මුසපත් වී සිටින උන් සුදානම් නැත. LTTE ත්‍රස්තවාදීන් විසින් මරා දැමු සිංහලයන්ගේ ඝාතනයන් පමණක් අමානුෂීය කෘර වෙයි..අද ජාතිවාදයක් නැති කියන සිංහලන්ගේ කුහකත්වය මතු වන්නේ සිංහල හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙවැනි අමානුෂීය ඝාතනයන් ඉදිරියේය.
ඉලයතම්බි තර්සිනි සිංහල හමුදාවේ සිටි නිල ඇදුම් ලා ගත් අසහන කාරීන්ගේ ගොදුරක් බවට පත් වුවා පමණක් නොව ජාතිවාදය නැති කියන සිංහලන්ගේ කුහකත්වයටද ගොදුරක් විය.2005 දෙසැම්බර් මස 15 වන දින ඇගේ උපන් ගමේදී ඇයව අමානුෂීය ලෙස පැහැරගෙන ගොස් දස වද දී කිහිපවතාවක් කිහිපදෙනෙකු විසින් අතවරකොට මරා දමනු ලැබීය.
ඇයව පැහැරගෙන යනු ලැබුවේ ශ්‍රීලංකා නේවි මුර පොළ අසල වන අතර අතවර කොට මරා දමා ඊලග දිනයේ අත්හැර ගොස් තිබුවේ මඩුතුවේලි ශ්‍රීලංකා නේවි මුර පොළ අසල පාලු කුබුරකය .යාපනයේදී නිකුත් කරනු ලැබූ මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වන පරිදි ඇයගේ හුස්ම හිර කර මරා දැමීමට පෙර ඇයව සාහසික ලෙස අතවරයට ලක් කර ඇති බවයි. ඇගේ ශරීරයේ කිහිප පොළක සපා කෑම් මෙන්ම නිය පහරවල් වලින් සිදු කරනු ලැබූ තුවාල තිබු අතරම විශේෂයෙන් ඇගේ පියයුරු ඉතා දැඩි ලෙස සපා කා තිබුණි .නිල ඇදුම් ලා ගත් අසහනකාරීන් ආණ්ඩුවේ ආරක්ෂාව ලබූ අත්හැර ජාතිවාදී දේශප්‍රේමින් යයි කියාගත් කුහකන් සාහසික ලෙස මරා දැමු ඉලයතම්බි තර්සිනි නම් වූ රෝස පොහොට්ටුව සදාතනිකව නිහඩ කර සගවා දැමුවේය.
එසේ නිහඩ කර දැමුවේ ඇය පමණක් නොවේ .


ක්‍රිෂාන්ති කුමාරස්වාමි යනු 1977 යාපනයේ උපත ලැබූ 1996 අගෝස්තු මස 7 වැනි දින උසස් පෙළ විභාගයට පෙනී සිට නිවාස බලා යන අතරමග ශ්‍රීලංකා හමුදාවේ සිටි අසහනකාරී තිරිසනුන් 6 දෙනුකු විසින් එකතු වී අතවර කර දස වද දී මරා දමනු ලබූ තවත් එක් දමිල තරුණියකි. යාපනයේ කයිතඩි ආමි මුර පොළ අසලදී උදේ 11.30 පණපිටින් අවසන් වතාවට දැක තිබුණු අතර ඇයව සෙවීමට ගිය ඇගේ මව රාසම්මා, වයස 16 ක් වූ ඇගේ සහෝදරයා ප්‍රනාවන් සහ ඔවුන්ගේ පවුලේ හිතවෙතෙකුද මරා දමනු ලැබීය .
දවස් 45 කට පසු ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු හමුදා බලයට යටත්ව තිබූ පාලු නොගැබුරු මිනී වලවල් තුල අත් හැර දමා තිබියදී සොයා ගනු ලැබීය .මව වන රාසම්මගේ ගෙල වට ඝන ලනුවක් සිර වී තිබුණි .ඇයගේ ගෙල සිර කර අමානුෂික අයුරින් මරා දමා තිබුණි.පවුලේ හිතවතාගේ සිරුර වටා ඝන ලනුවක් තදින් බැද තිබු අතර ඔහු මරණයෙන් බේරීම සදහා අරගල කර තිබු බවක් පෙනෙන්නට තිබුණි. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ සහෝදරයාගේ සිරුරු කැබලි වලට කපා පාට ඇතිරිල්ලක නොසැලකිල්ලෙන් බැද දමා තිබුණි .
පසුව සිදු කල පරීක්ෂණ වලින් අනාවරණය වුයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි හමුදා නිලධාරීන් 4 දෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් හමුදා නිලධාරීන් 6 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් එකතු වී දුෂණය කර කෑලි වලට කපා දමා ඇති බවයි . ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් කිසිදු පලක් වුයේ නැත.ඒ පිලිබදව ක්‍රියා කල පුද්ගලයින් අබිරහස් ලෙස අතුරුදන් විය.
අරුමයිතුරයි තමලේච්චුමි 2005 දෙසැම්බර් 16 වන දින ත්‍රිකුණාමලයේ කුමරපුරම්හීදී දුෂණය කර මරා දමනු ලැබීය .මරා දමන විට ඇගේ වයස අවුරුදු 17 ක් විය.හින්දු කෝවිල් පූසාරි වරයෙකුගේ දියණියක් වූ සරතම්බල් සරවන්බවන් තට්කුරුකල් කණ්ඩායම් අතවර කීරීමකට ලක් කර මරා දමද්දී ඇයට වයස 29 කි .මෙවැනි සිය දහස් ගණන් කතන්දර වැළලී ගොස්ය . ඒවා හාරන්නට ගිය උන් පන පිටින් ආවේ නැත.රට බෙර ගත් හමුදාව උතුම් ය කියා පිදුවට කම් නැත. සිනමා පට තනා සල්ලි හම්බකරාට කම් නැත. යුද්දය විකුණාගෙන කෑවාට කම් නැත.එහෙත් නිල ඇදුම් වලට මුවා වී අහිංසක දමිල තරුණියන් සාහසික ලෙස තලා පොඩි කර දැමු අසහනකාරීන්ට රැකවරණය දීමට ආණ්ඩුවේ මහ උන්දලාට අයිතියක් නැත .සියලු දමිලයින් ත්‍රස්තවාදීන් නොවන බව නොතේරෙන ජාතිවාදයෙන් මුසපත් වී සිටින කොටසකුත් මේ රටේ අපි අතර ජිවත් වෙයි.උන් වපුරන කුහකත්වයට වහන් වී සිටින ඒ අසහනකාරීන් තවමත් හමුදාව තුල සිටින බව මම අවධාරණයෙන් කියමි.ත්‍රස්තවාදය සහ ශ්‍රීලංකා හමුදාව විසින් දමිල තරුණියන් දූෂණය කිරීම යනු කරුණු දෙකකි. එය එකක් මෙන් පටලවාගෙන වල්ගේ පාගාගෙන දගලන ජාති ආලයෙන් හෙළුව වසා සිටින උන්ට කියන්නට දෙයක් ඇත.හමුදාවේ වීරත්වය සැමරුවාට අවුලක් නැත .වීරයෝ නියමිත සැලකිලි ලැබිය යුතුය. කෙලෙගුන නොදන්නා මහින්ද ඇතුළු පිරිස සරත් ෆොන්සේකාව සිර ගත කිරීම වෙනම කතාන්දරයකි. ශ්‍රීලංකා හමුදාවේ සිටි සමහරක් අසහනකාරී පාපතරයින් විසින් තලා පෙළා දමනු ලැබූ ශ්‍රී ලාංකික දමිල තරුණියන්ට යුක්තිය ඉටු විය යුතුය .යුක්තිය ඉටු වන තුරු ඔවුන් අප අතරින් මිය යන්නේද නැත.සීතල මිනී වලවල් තුල උන්ගේ සිරුරු සමගින් වළලන්නට තනන සත්‍ය කිසිදු දිනක නොමියෙන බව ආණ්ඩුව විසින් රැකවරණය දෙමින් ජාතික පෙමින් උදම් අනන අන්තවාදී කුහක රැලවල් විසින් සහයෝගය දෙන නිල ඇදුම් වලට වසන් වී සිටින අසහනකාරීන් දැනගත යුතුය.
උන් ජාතියේ වීරයෝ වන්නේ නැත .උන්ගේ සොහොන් වල සිහිනෙන්වත් පොපි මල් පිපෙන්නේ නැත ...