Friday, July 20, 2012

රාවන්




රාවන් දෙමටගොඩ හන්දියේ ලයිට් කණුවක් යට තනියම හිටන් හිටියා. පාරේ වාහන සද්දෙට දිව්වා. හුළං කපාගෙන ඉදිරියට වාහන දිහා රාවන් බලාපොරොත්තුවෙන් බැලුවා.තමාගෙන් හමන ලාබ විලවුන් සුවද ඔහු හය්යෙන් හුස්ම ගත්තා. ඇගට හිර වෙච්ච ඩෙනිමට ඇදගෙනගෙන හිටපු කොට ටී ෂර්ට් එක අත් දෙකින් පහළට ඇද්ද ඔහු ආයෙමත් පාර දිහා බැලුවා. වාහන හෝන් සද්දෙ අතර වම් අතේ හිර වෙලා තිබුනු ඔරලෝසුවේ තප්පර කටුව වේගයෙන් කරකැවෙන හඩ ඔහුට දැනුනා.. දිග සුසුම් කීපයක්ම ඔහු පිට කළා. ලයිට් කණුවේ දිලිසෙන බල්බය වගේ රග දෙමින් උන්නු මෙරු එකින් එක පියාපත් අහමිව ඔහු ඉදිරියට වැටුණා. පණ අදින මෙරුන නොපෑගෙන්නට ඔහු තවත් පිටුපසට වුණා.මොහොතක් ගත වුණා. තවත් තත්ත්පර කිහිපයක්...කළු පැහැති බෙන්ස් රථයක් ඔහු ළගින් හෙමින් ගෑටුවා..මදක් ඔහුව පසු කරන් ගිය රිය ආයෙමත් ඔහු දෙසට රිවස් වුණා.රාවන්ගේ මුවග යාන්තමට හිනාවක් ඇදුනා. ඔහු කාර් එකට ළං වුණා.

දෙමටගොඩ පසුකරමින් වේගයෙන් දිවෙන බෙන්ස් රථයේ ඉදිරිපස අසුනේ ඉදන් හිටිය රාවන් නළලට වැටුණු කෙස් රොදක් පරිස්සමට පිටුපසට කරගත්තා.

දන්නවද අපි කොහෙද යන්නෙ කියලා .. රාවන් ඇය දිහා බැලුවා. ඔහුට එක්වරම ඇදුනේ තරබාරු කිකිළියක්ව. තද රතුපාට කොට ගවුමෙන් මහත කළවා බේරුනා. සුක්කානම සිප ගන්න පියයුරු යුවළ රාවන් දිහා බලා සිටියා.තඹ පාට ‍කැරළි කොණ්ඩේ උරහිසේ රගදුන්නා.

ඇය හිනා වුණා..... දම් පාට දෙතොල් ආයෙමත් කථා කළා.හීනීම හීනි ඇහි බැම රාවන්ට ඉගි කළා.

ඔහොම බලන්න එපා මං දිහා.. වාහනේ හැප්පපෙයි.. ඇය හය්යෙන් හිනාවෙමින් කිව්වා...

නොබලා ඉන්නද කියන්නේ??? පුළුවන් තරමට හඩ බැලන්ස් කරලා කොහේවත් නැති හැගීම් තවරලා එළියට දාන්න රාවන් දක්ෂයි..

ගියරය මත හිර වෙලා තිබුණු රත්තරං පාටට දිලිසෙන මුදු වලින් වැහුණු ඇගේ ඇගිලි රාවන්ගේ අත මතට ආවා..

රෑට කාලද ඉන්නෙ??

ඔව් රාවන් උත්තර දුන්නා ..

මොනවද කෑවේ.... ඇය හුරතල් වුණා...

කොත්තුවක්..

හ්ම්ම්ම්...

වාහනේ නොනැවතී ඉදිරියට ඇදුනා.. ඇගේ අත ගියරටත් රාවන්ගේ අත මතටත් මාරුවෙන් මාරුවට සක්මන් කළා. ඇගේ විලවුන් සුවද රාවන් හුස්ම ගත්තා.. ඇගේ ජංගම දුරකථනය නාද වුණා.

ෂ්ෂ්ෂ්...මුවග ඇගිල්ල තියලා රාවන්ට සන් කරපු ඇය ඇමතුමට උත්තර දුන්නා

ඇයි ?

--- ---

මම ගෙදර යන ගමන්..

--- ----

ඕකේ

නෑ නෑ

මම සෙට්ල් කරන්නං

බලමු

මම ඩයිව් කරන ගමන්.පස්සෙ කථා කරමු

බායි

ඇය ජංගම දුරකථනය පසෙකට දමා රාවන්ගෙ අත මිරිකුවා.

මගේ යාළුවා කිව්වට වඩා ඔයා වෙනස්...

මොකක්ද වෙනස ??? ඔහු පෙරළා ඇහුවා.

ඇය හිනා උනා උත්තරයක් දෙනවා වෙනුවට. ඔහු ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණේ නෑ. හම්බුන හැමෝම මහා විකාර තේරුමක් නැති දේවල් කියනවා පටන් ගැන්මේදි.

පාට එළි,කළුවර ගෙවල්,පණ ගැහෙන ගස්,පිරුණු පාරවල් පහු වෙලා ඇය වාහනේ නතර කළේ විසල් ගෙදරක් ඉදිරිපිට.

යමු ඇතුළට

විවර වුණු දොරින් නිවස ඇතුළට ගිය ඇය රාවන්ට ආරාධනා කළා.රාවන් සාලයේ සැප පහසු සෝෆාවේ ඉදගත්තා. ඇය කට කොණින් හිනා වෙලා තරප්පු පෙළ නැග ඉහළ මාළය‍ට අතුරුදන් වුණා.නිවස පුරාම පිරිලා තියන සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ අතර රාවන්ගේ දෙඇස් දිව ගියා. රාවන් ගේ හීන හිතෙන් එළියට පැනලා රාවනට ඔච්චම් කළා..මිනිස්සුන්ට කොහෙන්ද මේ තරම් සල්ල.. රාවන් ඉරිසියාවෙන් මිරිකුනා..උසට උසේ මගුල් ෆොටෝ එකක කවිච්චිය ළග බිම හිටගෙන හිටියා ජීවමානව වගේ.තරබාරු ගැහැනිය මනමාලියකට ඇදලා කළු මිටි මහත මිනිහෙක්ගේ අතේ එල්ලිලා ඉන්නවා.වේල් එකත් බිම ගෑවෙන සුදු ලේස් ගවුමත් දිහා රාවන් හොදට බැලුවා. රාවන්ට නිසංසලාව මතක් වුණා..

මම ආසයි වේල් එකක් දාලා සුදුම සුදු පාට දිගම දිග ලේස් ගවුමක් ඇදලා මනමාලියක් වෙන්න..ඒත් තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන මනුස්සයා එක්ක ජීවත් වෙන්න ඒවා නැති වුණා කියලා හිතට දුකක් නෑ මට

නිසංසලාගේ වචන රාවනගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා..රාවන දිග සුසුමක් හෙළුවා.හැමදාමත් මේ වගේ වෙලාව රාවනට මතක් වෙන්නේ නිසංසලාව.

එන්න උඩට

රාවන් තිගැස්සුනා.තරබාරු කිකිළියක් නයට් ගවුමක් පෙරවගෙන තරප්පු පේළියේ මැද්දට වෙලා රාවනට ආරාධනා කළා..‍ව්‍යාජ හිනාවක් මූණේ ඇදගත්ත රාවන් ඉක්මනින් නැගිට්ටා.වෙලාව සෑහෙන්න වටිනවා.නිසංසලා නිදි නැතුව බලන් ඉන්නවා කියලා රාවන් දන්නවා..

විසල් ඇදේ තරබාරු ගැහැනියගේ මස් ගොඩ අතරේ ඉඩක් ඉස්පාසුවක් නැතුව රාවන් මිරිකුනා.හුස්මක් ගන්න හිස් තැනක් තිබුනෙ නෑ.විලවුන් සුවද මහා අප්පිරියා‍වකින් රාවන් ඉවසුවා.ඊටත් වඩා ගැහැනියගේ කෙදිරීම. තේරුමක් නැතුව මේ ගෑනි කෙකර ගානවා.රාවන කේන්තියෙන් හිතුවා. ඒ මදිවට කියන හුරතල් වචන.. ම‍ගේ පුංචි කුමාරයා,මගේ සීනි කැටේ..මේ වගේ වචන රාවන්ගේ කනට කොදුරනකොට රාවන් ඇදෙන් නැගිටලා පැනලා දුවන්න හිතුනා..පැය ගාණකට කලින් හම්බුනු මිනිහෙක්ට කොහොමද මේ ගෑනී හුරතල් වචන කියලා නළවන්නේ. රාවන් හිටියේ ප්‍රශ්ණ කෝටියක් මැද්දේ..ඒ වුනත් ඒ හැමදේම හිත ඇතුලේ කොණක ති‍යාගෙන හිස් රංග ශාලාවේ ප්‍රධාන නැට්ටුවා බවට පත් වෙන්න ඔහුට සිද්ධ වුණා..කියන කියන විදියට හති වැටෙනකල් රාවන්ට නටන්න සිද්ධ වුණා.. අන්තිමට දෙය්යනේ කියලා කෝපි කෝප්පයක් බිබී මොහොතක් හති අරින්න ඉඩක් ගන්න රාවන්ට පුළුවන් උනා.. ඇය හරියටම රාවන්ගේ ඉස්සරහ සැප පහසු පුටුවකට වෙලා බලන් හිටියා යටැසින්.මළ කෝලං .කෝපි කෝප්පේ බොන ගමන් රාවන් හිතුවා.සෙල්ලම් බඩුවක් දිහා පුංචි ළමයෙක් බලනවා වගේ ඇය රාවන් දිහා බලන් හිටියා.

මගේ හස්බන්ඩ් අවුට් ස්ටේෂන් ගිහින් බිස්නස් වැඩ වලට.එයා කොහොමටත් වැඩිය ගෙදර එන්නෙ නෑ..

ගැහැනිය කිව්වා..රාවන් හිනා වුණා.ඔය වගේ කතන්දර ඉසේ කෙස් ගාණට ඔහු අහලා තිබුනා.තවත් අයගේ ජීවිත වල පිරිමි නෑ.ඒත් ඇති තරං සල්ලි තියනවා.තවත් අයගේ කසාද පිරිමි සල්ලි දෙනවා තමන්ට ඕන කෙනෙක් එක රැයකට අරගන්න..ඒ ගොඩක් අය මැදි වයසත් පහු කරලා.රාවන්ට එපාම කරපු දේ වුනේ කිසිම ආදරණීය හැගීමක් නැති බව දැන දැනත් ගෑනු ඔහුව නළවන්න එන එක ගැන..ඒවා ප්ලාස්ට්ක් වචන..

කැබිනට් එක උඩ රාවණගේ වයසම විතර තරුණයෙක්ගේ ෆොටෝ එකක් තිබුනා.ඒ කවුරු වෙන්න පුළුවන්ද කියලා රාවන් ඒ දිහා බලන් හිටියා..

ඒ මගේ පුතා.. ගැහැනිය රාවන් අවසන් කරපු කෝපි කෝප්පය අතට ගන්න ගමන් කිව්වා..

එයා රට ඉන්නේ..මං වගේමයි නේද මූණ.. එහෙම කියලා තරබාරු කිකිලිය නැවතත් කෙකර ගෑවා...

නැවතත් විසල් ඇදේ සැප පහසු පුළුන් මෙට්ටයේ රාවන් හිර වුණා. තරබාරු කිකිළිය විසින් ඇගේ ආධිපත්‍ය පතුරුවාගෙන හිටියා..වෙලාව ගත වුනා. කෙකර ගෑම්,කෙදිරි ගෑම් හා හුරතල් වචන වලින් රාවන්ගේ කන් දෙක පිපිරෙන්න ආසන්නව තිබුනා..අන්තිමේදි මොණර කොළ කිහිපයක් ඇය රාවන් ට දුන්නා රාවනගේ අතත් මිරිකගෙන. ඒ ගමන්ම ආයෙත් නෙක්ස්ට් වීක් මම කෝල් එකක් දෙන්නම් කියලත් කිව්වා..

කූඩුවක හිර වෙලා හිටපු කුරුල්ලෙක් නිදහස් වුණා වගේ රාවන් මොණර කොළ ටිකත් අරන් ඉගිල්ලිලා ගියා ගෙදර.නිසංසලා නොනිදා සාලේ පුටුවකට බර වෙලා බලන් හිටියා.ඉදිරියට නෙරා ආ ඇගේ කුස වෙතට රාවන්ගේ දෙඇස් යොමු වුණා..ඇය රාවන්ව දැකලා නිදිබර හිනාවක් පෑවා..

මම හිතුවා වේලාසන එයි කියලා..

රාවන් ඇය සමීපයෙන් බිමින් ඉදගෙන ඇගේ උකුළ මත හිස තබා ගත්තා. ඇගේ ඇගිළි තුඩු හෙමින් සීරුවට රාවන්ගේ හිසකේ අතර එහාටත් මෙහාටත් ගියා. ඔහුට දැනුනා ආදරය..හැමදේම අමතක වෙලා ගියා. පුදුමාකාර වේදනාවක් එක්ක ආව අසරණකමකින් රාවන්ගේ ගත වෙව්ළුවා..

කලින් එන්න තමයි හිටියේ ඒත් වැඩ වගයක් තිබුනු නිසා පරක්කු වුණා.. සොරි.. රාවන මිමිණුවා..

අනේ එහෙම කියන්න එපා බබා..මම දන්නාව ඔයා මමයි දරුවයි බේර ගන්න දුක් විදිනවා කියලා..

රාවන් සාක්කුවේ ගුලි වෙලා තිබුනු මොණර කොළ ටික නිසංසලාගේ අතට දුන්නා..

ඔයාටයි දරුවටයි මුකුත්ම වෙන්නේ නෑ. අපි හෙට උදේම ඩොක්ටර් ළගට යමු..එහෙම කියලා රාවන් නිසංසලාගේ කුස ආදරෙන් ඉම්බා..නිසංසලාගේ දිග සුසුමක් පාවෙලා ඇවිත් ඔහුගේ ගෙලේ රස්නෙට වැදුනා..


ප.ලි - මම බ්ලොග් එක පටන් ගත්තේ 2011.නොවැම්බර් 15 වෙනිදා.මේක ලියන්න ගත්තේ මගේ නිදහස් ප්‍රකාශනයක් විදියට.තව එකෙක්ගේ ලියමනක් විවේචනය කරාම මිනිස්සු කිසිම පදනමක් නැතුව ඒ විවේචනය පුද්ගලික අපහාසයක් කරගන්න නිසාත් සමහර උන් ඒ මාතෘකාව අරගෙන තමන්ගේ බ්ගොග් එකේ හිට්ස් සහ කමෙන්ට් වැඩි කරගන්න දරන සිගිති උත්සාහය නිසාත් මම තීරණය කළා අද ඉදන් ම‍ගේ බ්ලොග් එකේ කමෙන්ට් ඩිසේබල් කරන්න. පදනමක් නැතුව පුද්ගලිකත්වය එලියට අරගෙන ඒවට උන්ගේ නූගත් මත පළ කරලා ඇනෝ කමෙන්ට් හා ඇනෝ බ්ලොග් අලුතින් පටන් අරගෙන ගම් වල ඉන්න ඕපා දූපා ගෑනු වගේ ඇදුමේ පාටයි කොණ්ඩේ පාටයි වගේ ළදරු දේවල් අරගෙන කුහකන් පිට කරගන්නවා වගේ දේවල් නොනවත්වා සිද්ධ වෙනකොට මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මගේ හේතුව ගැන මටම කළකිරෙනවා. ඒ නිසා කියවන එකෙක් ඇවිත් කියවයි විවේචනය කරන එකෙක් කියවයි සහ අකමැති එකෙක් නොකියවා ඉදියි. මිනිස්සු විවිධාකාරයි.. ඒ වගේම ගොඩක් උන්ගේ ජීවිත සහ සමාජ කියවීම හිස්. ඒ නිසයි කොල්ලෙක්ගේ මලක් ගැසීම අරුමයක් නොවන රටක කෙල්ලෙක්ගේ මලක් ගැසීම මැජික් එකක් වෙන්නේ. ඒ තරම් සිගිති හා පටු සිතීම් තියන පුද්ගල සම්බන්ධකම් කවදාවත්ම මගේ ජීවිතය ඇතුලේ තිබුනේ නෑ. ඒ වගේම ආදරයක් නිදහසක් නැති ජීවිත හිරකාරයින්ට අනුන්ගේ ජීවිත වල ආදරය සහ නිදහස ගැන කුහකකමක් දැනෙන එකත් සමාන්‍ය දෙයක් කියලා මම හිතනවා. බ්ලොග් එක කියන්නේ මගේ ජීවිතේ නොවුනු කොට බ්ලොග් පටන් ගත්තේ කමෙන්ට්ස් සහ හිට්ස් බලාපොරොත්තුවෙන් නොවුනු කොට කමෙන්ට්ස් සහ හිට්ස් කියන්නේ මට තේරුමක් නැති දෙයක් .මේ බ්ලොග් තමන්ගේ ජීවිතේ කියලා ඒවා ඇතුලේ උන්ගේ කුහකකං එළියට දාන උන්ට කමෙනට්ස් සහ හිට්ස් වලින් තොර ජීවිතයක් නෑ. මගේ ජීවිතය සහ ජීවිත වින්දනය තියෙන්නේ බ්ලොග් අවකාශය ඇතුළේ නෙමේ. ඊට වඩා සෑහෙන්න දුර ගොඩක් ලොකු අවකාශයක මම ජීවත් වෙන නිසා තවදුරටත් මට කමෙන්ට්ස් සහ හිටිස් සහ සංවාද මේ බ්ලොග් එක තුළින් අවශ්‍ය නෑ..