ජැන්ඩියට ඇදගත්ත සිරිසේන ගෝල්ෆේස් එකේ හිස් වෙලා තිබුනු එකම එක බංකුවේ ඉදන් හිටියා.ඒ බංකුවේ ඉදගන්නත් සිරිසේනට සෑහෙන්න මහන්සි වෙන්න වුණා. හේතුව කුඩ අරගත්ත කෙල්ලො කොල්ලෝ හිස් බංකුවක් තිබුනොත් ඔලිම්පික් තරගෙට දුවනවා වගේ දුවන් එන නිසා. ගාපු ජෙල් එක නිසා කොණ්ඩේ ගම් ගාලා වගේ තිතට ඇලවිලා තිබුන නිසා ගන සැරේට මූණ ඉස්සරහ වැදෙන හුළං පාරට නං සිරිසේන පොඩ්ඩක්වත් බය වුණේ නෑ.සිරිසේන ගෝල් ෆේස් එකේ තැනින් තැන වැටිලා,හැංගිලා,වැතිරිලා ඉන්න ජෝඩු දිහා බැලුවා.සමහර ජෝඩු පෙනුමින් පොඩ්ඩක්වත් ගැළපුනේ නැති බව ඔහුට පෙනුනා.කහ පාට කොට ගවුමක් ඇදගත්ත මහතම මහත කෙල්ලෙක් පිදුරු ගහක් වගේ හීන්දෑරි කොල්ලෙක්ගේ අතේ එල්ලිලා සිරිසේනට පේන මානේ බංකුවක ඉදගෙන හිටියා. කුඩෙන් දෙන්නගේ මූණ විතරක් යන්තමට වැහිලා තිබුනා.කොල්ලා සිමෙන්ති බංකුවට පිට දීලා හිටියට වඩා හිටියේ ඇලවිලා.කෙල්ල කොල්ලගේ මුළු ඇගටම බර වෙලා.කෙල්ල කොල්ලගේ දණ හිස ඉදහිට මිරිකුවා.ඌ මාර පොරක්නේ..සිරිසේනට එහෙම හිතුනේ කොල්‍ලා කෙල්ලගේ මිරිකිල්ලට දශමයක්වත් ගැස්සුන බවක් පෙන්නපු නැති නිසා. සිරිසේනට මතක් වුණේ ගමේ එළවළු කඩේ අක්කව.
අක්කා කොයිතරම් මහතද කියන්නේ අක්කට වැඩි වෙලා හිටන් ඉන්න බෑ. කකුල් දෙක රිදෙන්න අල්ලනවා බං කියලා අක්කා නිතරම ඉදගෙන කකුල් අතගානවා.අක්කා කියන්නේ වාත අමාරුවට එහෙම වෙන්නෙ කියලා උනත් සිරිසේනට හිතුනේ අර තරම් මහත ඇගක් කොහොමද කකුල් දෙකින් උස්සගෙන ඉන්නේ කියලා.දවසක් සිරිසේන පහළ කොටුවේ කොහිල ටික උගුල්ලා අක්කට දෙනකොට අහම්බෙන් වගේ සිරිසේනගේ අත අක්කාගේ ඇගිලි වල ගෑවුනා.අක්කා හොරහින් බැලුවා.ආයෙමත් දවසක ගොටුකොළ මිටි ටිකක් අරගෙන කඩේට යනකොට අක්කා කඩේ ඇතුළටම කථා කළා. ඉස්කෝළේ මහත්තයාගේ රට ඉදන් ආපු පුතා ගම් මඩුව දවසේ සිරිසේනට එහේ එන්න කියලා පොඩි අක්කා අතේ පණිවිඩයක් එවලා තිබ්බා.හැමෝම ඉස්කෝළේ මහත්තයගේ පුතාට කිව්වේ රට පුතා කියලා. සිරිසේනට කරන්න තිබුනේ රට පුතා චිත්‍රපටි බලනකල් දොර ළගට වෙලා පුටුවක් තියන් ඉන්න. කවුරුහරි ආවොත් මට කියපන් කියලා රට පුතා කිව්වා.සිරිසේනටත් කම්පයුටර් එකේ රට පුතා බලන චිත්‍රපටි යන්තමට පේනවා.මුල්ම දවසේ සිරිසේනට හීන් දාඩිය දැම්මා. දෙය්යනේ ඇගේ නූල් පොටක්වත් නැති ගෑනු.... සිරිසේනගේ තොළ කට වේළිලා ගියා. ඒත් රට පුතා සිරිසේනට තරවටු කරලා කිව්වේ ඒ ගැන කටින් කෙළ පොදක්වත් හෙළුවොත් බලාගෙනයි කියලා.උඹ පිරිමියෙක් නං මෙහෙම එකක්වත් බලලා තියෙන්න ඕන බං කියලා රට පුතා සිරිසේනටත් බලෙන්ම වගේ චිත්‍රපටි පෙන්නුවා.එළවළු කඩේ අක්කා වගේ මහත ගෑනියෙක්ව දැකලා සිරිසේන අප්පිරියාවෙන් අහක බලා ගත්තා.එදා ඉදන් සිරිසේනට එළවළු කඩේ අක්කව අරහං.ඒත් ඊට පස්සේ බලපු සුදුම සුදු බෝනික්කෙක් වගේ නර්ස් නෝනා කෙනෙක් හිටපු චිත්‍රපටිය.සිරිසේන ඉස්කොළේ මහත්තයගේ පුතාට පෙරැත්ත කරලා ඒක දෙපාරක් තුන්පාරක්ම බැලුවා.ඒ දවස් වල සිරිසේනට නින්ද ගියේම නෑ.රෑට හීනෙන් පෙනුනෙම චිත්‍රපටියෙ හිටපු නර්ස් නෝනව.
චිත්‍රපටි බලන්න ඔහොම පුළුවනයි කියලා සිරිසේන කළේ මිදුලේ තිබ්බ කොහු අඹ ගහෙන් අමු ගෙඩි දෙක තුනක් හොදට ලුණු ගම්මිරිස් දාලා මිරිස් ගලේ කොටලා අරගෙන ඉස්කෝළේ මහත්තයගේ ගෙදර යනකොට අරන් ගියපු එක. ඒත් ඒකෙන් වුණේ ඉස්කොළේ මහත්තයගේ පුතා බඩ අල්ලගෙන හිනා වෙලා සිරිසේනට උඹ නං හද්ද මෝඩයෙක් බං කියලා කිව්ව එක.පොඩි අක්කා රට පුතා එක්ක පැනලා ගිය දවසේ ඉදන් සිරිසේනගේ චිත්‍රපටි බැලිල්ල ඉවර වුණා.ඒත් චිත්‍රපටියේ නර්ස් නෝනා ගැන නම් හීන දකින එක නතර වුණේ නෑ.
ගමේ ඉස්පිරිතාලේ හිටියා නර්ස් නෝනා කෙනෙක් සිරිපාලගේ හිත ගියපු.ඒත් චිත්‍රපටියේ වගේ කිරි පාට හමක් නැති දුඹුරු හමක් තියන නර්ස් නෝනා කෙනෙක්.අත්තම්මව ඉස්පිරිතාලේ ලොකු දොස්තරට පෙන්නන්න හැම මාසෙම අරන් යන එක අම්මාගෙන් සිරිසේන බාරගත්තේ හිතේ කැමැත්තෙන්.අම්මා සිරිසේන ගැන ආඩම්බර වුනා.අත්තම්මා කිව්වේ මම හදපු පොඩි උන් මට නොසළකා හරින්නේ නෑ කියලා. ක්ලිනික් එක දවසට සිරිසේන අත්තම්මාව ඉස්පිරිතාලෙට අරන් ගිහින් තවත් නාකි උන්දැලා ඉදන් ඉන්න බංකුවක ඉන්දලා යනවා.අත්තම්මා හරි ආසාවෙන් ඒ නාකි උන්දලා එක්ක ඕප දූප කථා කරේ.සිරිසේන කරන්නේ එහාට මෙහාට ඇවිද ඇවිද නර්ස් නෝනා ගැන විපරම් කරන එක.ඒත ටිකෙන් ටික ඒකත් සිරිසේනට එපා වුණා.නර්ස් නෝනා සිරිසේන දිහා එක වතාවක්වත් බැලුවෙ නෑ.එයා ඕනවට වඩා මුකුළු කරා ලොකු දොස්තර මහත්තයා එක්ක. දවසක් අත්තම්මා ඇවිත් ගෙදරිදි කිව්වා නර්ස් නෝනා බදින්න ඉන්නේ ලොකු දොස්තර මහත්තයා කියලා.දොස්සතර මහත්තයා අපේ මිනිහගේ වයසෙනේ මං හිතන්නේ දෙවනි කසාදෙ වෙන්නැති කියලා අම්මා කම්බුලට අත ගහන් කිව්වා.ඊළග මාසේ ක්ලිනික් දවස කිට්ටුවෙනකොට අත්තම්මා නින්දෙන්ම මළා.නර්ස් නෝනා ගැන සිරිසේනගේ හිතේ තිබුන ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.
සිරිසේනගේ ගමේ තිබුනා පරණ පන්සලක්.එක බලන්න ඉද හිට සුදු නෝනලා මහත්තරු ආවා ගියා.දවසක් සිරිසේනව දැකලා සුදු මහත්‍තයෙක් ඉංග්‍රීසියෙන් මොනවදෝ කිව්වා.එතන හිටපු කළු මිනිහා ඇහුවා කැමතිද කොළඹ යන්න එන්න කියලා.සිරිසේන එක පයින්ම කැමති වුණා. කොළඹ ගැන අහලා තිබුනත් කවදාවත්ම කොළඹ ගිහින් නැති සිරිසේනට මේක හීනයක් වුණා.සිරිසේනගේ අම්මා විතරක් මේකට කැමති වුණේ නෑ.ඒත් සුදු මහත්තයා සල්ලි වගයක් අම්මගේ අතට දුන්නට අම්මා කිව්වා පුතේ උඹගේ වාසනාව මේක.උඹවත් සැපක් විදපන් ගිහින් කියලා.එදාම දේවාලේ කපු උන්නාස්සෙට කියලා ආරක්ෂාවක් කරලා සුරයක් දැම්මා.බෙල්ලට දාපු සුරේ නූල සිරිසේනට කැතට පෙනුන නිසා හෙමිහිට ඒක ඉන වටේ බැදගත්තා.අරගෙන යන්න කියලා හරියමන් පිළිවෙල ඇදුමක් තිබුනෙ නැති නිසා ලොකු අක්කා ටවුමට ගිහින් ඇදුමක් අරන් සිරිසේනට දුන්නා.දිලිසෙන කළු පාට දිග කලිසමකුයි තද කොළ පාට අත් කොට කමිසයකුයි.කමිසේ කොළ පාට දිහා ටිකක් වෙලා බලන් හිටියහම ඇස් දෙක නිලංකාර වෙනවා.සිරිසේන හිතුවා ඒ කමිසේ ටිකක් මිල වැඩි එකක් වෙන්නැති කියලා.සුදු මහත්තයා නං සිරිසේන දිහා බලලා හිනා වෙලා සිරිසේනගේ පිටට අතින් හෙමිහිට තට්ටුවකුත් දැම්මා.සුදු මහත්තයාගේ වයස අවුරුදු 50ක්වත් වෙන්නැති කියලා සිරිසේනට හිතුනා.
කොළඹ ගියපු සිරිසේන සුදු මහත්තයා එක්ක ලොකු හෝටලේක නතර වුනා.සුදු මහත්තයාගේ ඇද පාමුල සිරිසේන නිදාගන්නකොට සුදු මහත්තයාම ඉංග්‍රීසියෙන් මොනවදෝ කියලා සිරිසේනව ඇදට ගත්තා.ආරක්ෂාවට කපු මහත්තයා බැදපු සුරේ නූල කැඩිලා ඇද පල්ලට විසික් වුණා .එදා එළි වෙනකල් සිරිසේනට නින්ද ගියේ නෑ.ඊළග දවසේ සුදු මහත්තයා සිරිසේනට අලුත් ඇදුම් අරන් දුන්නා. හැදි ගෑරුප්පු වලින් කන විදිය ඉගැන්නුවා. ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ අතරේ අම්මට යවන්න සල්ලි අතට දුන්නා.සිරිසේන හිටියේ පුදුම සතුටකින්.සිරිසේන කණ්නාඩිය ඉස්සරහට ගිහින් අනේ සිරිසේනයෝ උඹට වෙච්ච දෙයක් කියලා කියාගත්තේ ආඩම්බරයකින්. සිරිසේනට සුදු මහත්තයාව ඒ තරම් ඇල්ලුවෙ නෑ.දවසක් සිරිසේන සුදු මහත්තයාගේ මූණටම නාකි මිනිහෝ උඹ මහ වනචර බල්ලෙක් කියලා සිංහලෙන් හිනාවෙලා කිව්වා.සුදු මහත්තයා කලේ සිරිසේනව තවත් තුරුළු කරගත්ත එක. සිරිසේනට මේ මර උගුලෙන් ගැලවෙන්න ඕන උනා. ඉංග්‍රීසිත් දන්න එකේ බය නැතුව ලොකු හෝටලේක මැනේජර් එක්ක කථා කළා.වැඩිය ඉගෙන ගෙන නැති නිසාත් ඒත් හොදට ඉංග්‍රීසි දන්න නිසා මැනේජර් රූම් ක්ලීනර් විදියට සිරිසේනට රස්සාවක් දුන්නා..
සිරිසේන සුදු මහත්තයව මග හැරියා.වෙනම කාමරයක් අරන් හොදට ජීවත් වුණා.ගෙදරට සල්ලි යැව්වා.ගමේ මිනිස්සු සිරිසේන ගමට ගියාම වැළ නොකැඩි සිරිසේනව බලන්න ආවා. සිරිසේන ගෙදර යනකොට චීස් බටර් ඇපල් මිදි බෑග් ගණන් ගෙනිච්චා.චීස් කාලා අම්මා කිව්වේ ඒවා හරියට සබන් කනවා වගේ කියලා.ලොකු අක්කට ගෙනිහින් දුන්න ෂැම්පු එකෙන් ලොකු අක්කගේ මනුස්සයා බයිසිකලේ හෝදලා.මේ වගේ සෑහෙන්න දේවල් සිද්ධ වුණා.ඒ අතරේ සිරිසේනට කොළඹ කෙල්ලෙක් සෙට් වුණා.
කෙල්ල ඇහුවහම නම මොකක්ද කියලා සිරිසේන කිව්වේ ෂිරාස් කියලා.කෙල්ල ඇහුවා ඔයා මුස්ලිම්ද කියලා.ඒ වෙලාවේ කියන්න වෙන බොරුවක් ආවේ නැති නිසා සිරිසේන ඔළුව වැනුවා.ඒදා ඉදන් සිරිසේන ෂිරාස් වුනා. කෙල්ලගේ නම මිනෝලි. මිනෝලි ගොඩක් ලස්සනයි.වැඩ කරේ ගුවන් සේවිකාවක් විදියට.සිරිසේන කිව්වෙ නෑ සිරිසේන හෝටලේ ක්ලිනර් කෙනෙක් කියලා.මිනෝලි හිතුවේ සිරිසේන තාත්තගේ තේ වතු බලාගෙන ඉන්න සල්ලිකාර පවුලක පුතෙක් කියලා.සිරිසේන හම්බකරපු මුළු පඩියෙන්ම කරේ මිනෝලි එක්ක රවුම් ගහන එක. සතියකට හැමදාම මිනෝලිට ෂොපින් යන්න ඕන වුණා.එහෙම ගියපු ගොඩක් දවස් වලට මිනෝලිගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක අමතක වෙලා දාලා ඇවිත් වගේ කථා සිරිසේනට කිව්වා.වියදම් එන්න එන්නම වැඩි වුණා.මිනොලි නිතරම අමුතු සෙල්ලමක් කළා.එයා ඒක කිව්වෙ මෙන්න මෙහෙම
හිතන්නකෝ ඔයා දැන් ස්ට්‍රිප් ඩාන්ස් බලන්න ක්ලබ් එකකට ගිහින් ඉන්නෙ කියලා.මම තමයි එකේ ඩාන්ස් කරන්නේ.ඔයාට තියෙන්නේ මම ඩානස් කරනකොට සල්ලි විසික් කරන්න සාමාන්‍යයෙන් ඒ වල කරනවා වගේ.හොදද ෂිරාස්..
මුල්ම දවස් ටිකේ සිරිසේන හරිම ආසාවෙන් මේ සෙල්ලමට කැමති වුණා.මිනෝලිත් පුරුදුකාරියක් වගේ ඩාන්ස් කළා.ඒ අතරේ සිරිසේන කරන්නේ අතේ තියන සල්ලි ටික විහිළුවට වගේ මිනෝලිගේ ඇගට විසික් කරන එක. ඒත් සෙල්ලම අවසාන වුණාම මිනෝලි කරන්නේ ඇදුම් ඇදගන්න ගමන් බිම වැටිලා තියන සල්ලි ටිකත් ඇහිදගෙන එයාගේ පර්ස් එකේ දාගන්න එක.ඔහොම වෙලා සමහර දවස් වල සිරිසේනට කන්නවත් සල්ලි නැති වුණා.පස්සේ පස්සේ මිනෝලි ඒ සෙල්ලම කරමු කිව්වහම මම කැමති නෑ සෙල්ලමටවත් ඔයා ස්ට්‍රිපර් කෙනෙක් වෙනවට කියලා සිරිසේන යාන්තමට ඇග බේරගත්තා..
ඔහොම ගිහින් සිරිසේනගේ රස්සාව නැති වුණා.එහෙම මිනෝලි එක්ක රවුම් ගහන්න වැඩියෙන් නිවාඩු අරගත්ත නිසා.ඒත් රස්සාවක් නැතුව මිනෝලි එක්ක ඉන්නත් බැරි නිසා ගෙදරට සල්ලි යවන්නත් බැරි නිසා සිරිසේන මානසිකව වැටුනා.ණය වුණා..මෙහෙම ටික දවසක් යනකොට සිරිසේන හිතුවා මොනවම හරි කරලා සල්ලි හොයාගන්නවා කියලා. සිරිසේන බස් එකේ නැගලා මීගමුවේ ගියා.මීගමුවම සුද්දන්ගෙන් පිරිලා. සිරිසේන කරේ ෂර්ට් එක ගලවගෙන නිකං ඉබාගාතේ වැල්ල දිගේ ඇවිද්ද එක විතරයි.සිරිසේනට එකම දවසේ සුද්දෝ දෙන්නෙක්ම හම්බුනා. අකමැත්තෙන් වුනත් හිත හය්ය කරගෙන සුදු මහත්තුරුන්ගේ කාමර වලට වෙලා ජීවිතයේ වඩාත් වෛර කරන පැය ගණන ගෙවන්න සිරිසේනට සිද්ධ වුණා. සතියට දවස් දෙකක්වත් සිරිසේනට මීගමුවේ යන්න වුණා.සමහර දවස් වලට ඊටත් වඩා.සිරිසේන මිනෝලිට කිව්වේ තාත්තගේ බිස්නස් වැඩ වැඩී කියලා.සුද්දෝ සිරිසේනට දෙන අයි පොඩ්,වොච් , පර්ෆියුම් වගේ දේවල් සිරිසේන මිනෝලිට තෑගි දුන්නා.
දවසක් සුද්දෙක් එක්ක කාමරයෙන් එළියට එනකොටම සිරිසේනට මිනෝලිව හම්බුනා තවත් සුද්දෙක් එක්ක.මිනෝලි බිම බලාගත්තා.සිරිසේනත් බිම බලාගත්තා.දවස් ගාණක් යනකල් දෙන්නට දෙන්නා ෆෝන් එකෙන්වත් කථා කළේ නෑ.සිරිසේනට ජීවිතේම එපා වෙලා තිබුනේ.ඒ වගේමයි මිනෝලිට මූණ දෙන්න බැරි ලැජ්ජාවෙන්.සුද්දියක් එක්ක හිටියා නං ලැජ්ජාවක් නෑ.ඒත් සුද්දෙක් එක්ක...මිනෝලි මොනවා හිතයිද??ඒත් මිනෝලි සුද්දෙක් එක්ක මොනවද කරේ ?? මෙන්න මෙහෙම ගොඩක් දේවල් සිරිසේනට හිතුනා..සති දෙකකට පස්සේ අද තමයි සිරිසේනට මිනොලිගෙන් කෝල් එකක් ආවේ හම්බෙමු කියලා.
ගෝල් ෆේස් එකේ කහ පාට ගවුමක් ඇදන් ඉන්න තඩි කෙල්ලව දැකලා ගමේ කඩේ අක්කාගේ මතකෙන් සිරිසේන මුළු අතීතය දිගේම ඇවිද්දා..ආයෙමත් ගමට යන්නත් බැරි කොළඹ ජීවත් වෙන්නත් බැරුව සිරිසේන හිටියේ අතරමං වෙලා.කවදාවත්ම ගමට ආව සුද්දත් එක්ක කොළඹ ආවේ නැත්නම් කියලා සිරිසේනට හිතුනා..
ෂිරාස් ..
සිරිසේන තිගැස්සුනා..මිනෝලි ළග හිටන් හිටියා..
මම සිරිසේන මිනෝලි..ෂිරාස් නෙමේ.. සිරිසේන අහක බලන් කිව්වා..මිනෝලි හිනා වුණා..
මම සමන්මලී..මිනෝලි නෙමෙයි... එහෙම කියලා මිනෝලි සිරිසේන ළගින්ම ඉදගත්තා..
මම ගමේ ඉදන් කොළඹට ඇවිත් අතරමං වෙච්ච එකෙක්..සිරිසේන කිව්වා..
මිනෝලි සිරිසේනගේ අතින් අල්ලගත්තා..ඔයා මට මුකුත්ම කියන්න එපා.මමත් ඔයා වගේම අතරමං වෙලා..
මිනෝලි සිරිසේනගේ අතින් අල්ලගෙන බංකුවෙන් නැගිටලා වෙරළට ඇවිදන් ගියා.
අපි රැල්ල පාගමු..... මිනෝලි සිරිසේනගේ අත්ල සිපගත්තා..
රැල්ල පාගමින් හිටපු සුදු මහත්තයෙක් සිරිසේන දිහා හොදට බැලුවා.සිරිසේන අහක බලා ගත්තා.
අපි කරන දේවල් වෙනස් කරන්න දැන්ම අමාරු වෙයි.එහෙම වුනොත් අපිට බඩගින්නෙ මැරෙන්න වෙයි.මම නතර වෙලා ඉන්නෙ බොරැල්ලේ කාමරේක.ඔයාටත් එකේ ඉඩ ඇති. අපි එකට හම්බකරමු.. මිනෝලි කිව්වා
සිරිසේන පපුවේ තිබුනු බර සැහැල්ලු කරගෙන හිනා වුනා..සීතල රැල්ල සිරිසේනගේ කකුල් දෙක වහගෙන වෙරළට ආවා..
අච්චාරු... අච්චාරු.....අච්චාරු...
වයසක සීයා කෙනෙක් අච්චාරු බේසමක් එක්ක කෑ ගහගෙන සිරිසේනව පහු කරා.සිරිසේනට ගම මතක් වුණා. සිරිසේන ආයෙමත් හිනා වුණා..