Friday, September 7, 2012
සූප්පුව අත් හරින්න බැරි කෙල්ලො..
මේක මහ කලවං කතන්දරයක් වෙයි.එහෙමත් නැත්නම් මහා විකාරයක් වෙයි.ඒත් නැත්නං මේකත් කවුරුහරි කාට හරි ගහපු මඩක් කියලා හිතාගනී.ඕනී මගුලක් හිතාගන්න කියලා මම ලියන්න පටන් ගන්නවා.ප්රාකාශන නිදහස සහ අපි ඒක භාවිතා කරන විදියට පුංචිම පුංචි හරි තේරුමක් තියනවා නං එච්චරයි.
මිනිස්සු අතර සම්බන්ධකම් නෑ. අපි ඉන්නේ එකිනොගෙන් ඈත් වෙලා. නන්නාදුනනයෝ අතර අපි ජීවත් වෙනවා. පුංචි කාලේ අපිට අම්මා තාත්තා කියනවා පුතේ කවුරු හරි අදුනන්නේ නැති කෙනෙක් දෙන ටොපි කන්න එපා කියලා.එතනිදිම අපිට මිනිස්සු ගැන බයක් දැනෙන්න පටන් ගන්නවා.ඉතිං පුංචි කාලේ ඉදන් අපි අපේ වටේ ලොකු ආරක්ෂිත කොටුවක් ගහගන්නවා.පාරෙදි කවුරු හරි අදුනන්නේ නැති කෙනෙක් හිනා වුනොත් හරි වැඩිපුර බැලුවොත් හරි අපිට බයක් කුතුහලයක් දැනෙනවා මූ කවුරු වෙන්න පුළුවන්ද? මූ මොකාටද එන්න හදන්නෙ කියලා.කොටින්ම කියනවා නං අපි හැම එකාවම එක්තරා දුරකට සැක කරනවා.ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා මේක වැඩිපුර බලපානවා.ඒක සිද්ධ වෙන්නේ ලංකාවේ සංස්කෘතිය සහ සමාජය ගෑනු ළමයින්ව කන්යාඩ භාවය කියන කොටුව ඇතුලෙ හිර කරලා තියන නිසා. ගෑනු ළමයෙක් වැඩිවියට පත් වුන ගමන්ම ගෙදරින් ඒ ළමයව වීදුරු භාණ්ඩයක් කරනවා. ඒ කියන්නේ බිදුනොත් එතනින් ඉවරයි කියලා. ඒක මහ පිස්සුවක්.ඒත් සමාජේ එහෙමයි.ගොඩක් ගෑනු ළමයි තරුණියක් වෙලා සමාජෙට එනකොට හැම මිනිහා දිහාම බලන්නේ සැකෙන් බයෙන්.අම්මලා තාත්තලා ගෑනු ළමයාගේ වැඩි ආරක්ෂාව කියලා ගෑනු ඉස්කෝළෙකට දානවා.ඒක පට්ටම අවුල් දෙයක්. පිරිමි මැජික් එකක් වෙන්නෙ මෙහෙම වුනාම.පිරිමියෙක් ගෑවුනත් ඊක් කියලා අයින් වෙන ගෑනු ළමයින්ව දැකලා තියනවාද?මන්දා මම නං සෑහෙන්න දැකලා තියනවා.ඒක ලැජ්ජ බය කියලා හිතනවා නං සිරාවටම ඒක වැරදියි. ඒක මානසික අසහනයක්.බස් එකේ කොල්ලෙක් ඇගේ ගෑවුනොත් ඒ කොල්ලා දිහා රවලා බලලා ඌට දෙකක් කියලා බස් එකෙන් බහින අයත් මම දැකලා තියනවා. ඒ වගේම කොල්ලෝ තමන්ගේ පස්සෙන් ගෙන්න ගන්න කැමති ඒත් කවදාවත්ම උන් එක්ක යාළු වෙන්නේ නැති කෙල්ලොත් මම සෑහෙන්න දැකලා තියනවා.
කියන්න යන්නේ ඒක නෙමෙයි. පොළොවෙන් අඩි ගාණක් උඩින් යන කෙල්ලො ගැන. සිරාවටම මට මගේ ජීවිතේ ඉන්නේ එකම එක යාළුවෙක් විතරයි. මම කියන්නේ ගෑනු යාළුවො ගැන. ඒකට හේතුව ගොඩක් කෙල්ලෝ මට සෙට් වෙන්නෙම නැත්තේ ලොරි ටෝක්ස් දෙන එක නිසයි මොන්ටිසෝරි බබ්බු වගේ රගපාන එක නිසයි. අහම්බෙන් එක මේසේක ඒ වගේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනාම මට උන් එක්ක කථා කරන්න දෙයක් නැති වෙනවා.ඒ වෙලාවට මං කරන්නේ ඒ කියන දෙයක් බකමූණෙක් වගේ අහන් ඉන්න එක.ඒත් දරාගන්නම බැරි වෙලා ඔලුව පුපුරන්න වගේ වෙනකොට ෂේප් එකේ එතනින් මාරු වෙනවා.
ගොඩක් කෙල්ලෝ ඉන්නවා දෙය්යනේ කියලා බතක් එළවළුවක් උයන්න පුළුවන් උන්. ඒත් ඇහුවොත් එහෙම උයන්න පුළුවන්ද කියලා උරහිස් අකුළලා මූණ ඇඹුල් කරන් කියන්නේ අනේ මට පරිප්පුවක්වත් හදාගන්න බෑ කියලා. එහෙම කියන උන් හිතන්නෙ උයන්න බැරි එක මාර පොෂ් කියලා.අන්න ඒ වගේ කතන්දර කියන තැන් වල දාස් වාරයක් මාත් ඉදලා තියනවා.ගෑනු ළමයෙක්ට අනිවාර්යෙන්ම උයන්න පුළුවන් වෙන්න ඕන කියන ගොන් ජෝක් එක ගැන නෙමෙයි මම කියන්නේ.ඕනම කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි පුංචිම දෙයක් හරි තනියම උයාගෙන කන්න පුළුවන් කම තියෙන්න ඕන.ඒක හරි ස්වාධීනයි.තවත් කෙනෙක් මත යැපෙන්නේ නැතුව කවදාහරි තනියම ජීවත් වෙන්න යන දවසට උයාගෙන කන්න පුළුවන් වෙන එක සෑහෙන්න උදව්වක් වෙයි.
ඒ වගේම කෙල්ලෝ කෙල්ලෝ එකතු වෙලා උන්ගේ කොල්ලෝ ගැන තරරගෙට කථා කරන එකත් මාරම දෙයක්.ඒ හැම කෙල්ලම ට්‍රයි කරනවා අනිත් උන්ගේ කොල්ලන්ට වඩා මට හම්බෙලා ඉන්න කොල්ලා පට්ට සිරා කියලා ඔප්පු කරන්න.
දවසක් යාළුවෙකුගේ ගෙදර ගියාම ඒ යාළුවගේ තවත් යාළුවෙක් කෙල්ලත් එක්ක ඇවිත් හිටියා.කොල්ලා පට්ටම පට්ට මහතයි. කෙල්ල සුදුයි කෙට්ටුයි ලස්සනයි.අවුල තියෙන්නෙ එතන නෙමේ. උදේ ඉදන් හවස් වෙනකල්ම ඒ කෙල්ල හිටියේ කොල්ලගේ අත බදාගෙන.ඌට එළි පහලියට යන්නවත් විදියක් තිබුනෙ නෑ. ඒ කෙල්ල හිටියේ නිකං හරි කොල්ලගේ අත අත්හැරියොත් ඒ කෙල්ලව අපි උස්සන් යයි කියලා හරි එහෙමත් නැත්තන් කොල්ලව උස්සන් යයි කියලා වගේ.ඒ වෙලාවේ වටේ හිටපු අපි නිකම්ම අමුතු වනචාරී සත්තු වුනා.
මේක ලියන වෙලාවේ තේරුමක් නැතුව කම්මැලි කමට ඔන් කරලා තියන ටීවි එකේ සිරස මෑන් හන්ට් සහ කුමරි යනවා.රොෂාන්,නදීකා, සබීතා ජජ් බෝඩ් එකේ ඉදන් කමෙන්ට් කරනවා.ඒක බැලුවහම මට බිත්තියේ ඔලුව හප්පගෙන හප්පගෙන හප්පගෙන යන්න හිතෙනවා. අන්න ඒකෙත් මේ මම කියන ජාතියේ කෙල්ලෝ ඇති කියලා මට සෑහෙන්න ෂුවර්. ඒ මගුල ඔෆ් කරලා ආයෙමත් මං ලියන්න ගත්තා.
දැන් මම කියන්නේ මගේ පුද්ගලික හැගීමක් මිසක් අදහසක්වත් මතයක්වත් විවේචනයක්වත් නෙමේ.සමහර කෙල්ලෝ ඉන්නවා පාට මැච් කරලා අදින. බ්ලවුස් එක රෝස පාට නං සායත් රෝස පාටයි.සෙරෙප්පු දෙකත් රෝස පාටයි.කොණඩෙට දාලා තියන හෙයා බෑන්ඩ් එකත් රෝස පාටයි. කරාඹු දෙකත් රෝස පාටයි.හෑන්ඩ් බෑග් එකත් රෝස පාටයි.ඒ මදිවට ෆෝන් කවරෙත් රෝස පාටයි. මෙහෙම අදින අය දැක්කහම මට පොළොව හාරගෙන හාරගෙන ගිහින් පස් කන්න හිතෙනවා.ඒක මගේ අවුලක් වෙන්නැති.එයාලා මෙහෙම පාට මැච් කරලා අදින්න පට්ට දුකක් විදිනවා ඇති කියලා මට ඒ හැම වෙලාවෙම හිතෙනවා.ඊටත් වඩා දුකක් එහෙම අය දැක්කහම මම විදිනවා.
අනිත් එක තමයි කොල්ලන්ව ඇලජික් කෙල්ලො.මම දන්න අක්කා කෙනෙක් හිටියා. එයාට පිරිමි පෙන්නන්ම බෑ.නිකමට වැරදිලා හරි පාරේ යන කොල්ලෙක් මෙයා දිහා බැලුවොත් මෙයා ගත් කටටම කියන්නේ අන්න වනචරයෙක් බලන් ඉන්නවා කියලා.ඇයි එහෙම වෙන්නෙ කියන එකට හේතු ගොඩක් තියනවා.පිරිමියෙක් අතින් සෑහෙන්න වරදක් සිද්ධ වෙලා තියන කෙල්ලෙක්ට ඊට පස්සේ හැම පිරිමියම පේන්නේ සත්තු විදියට.අනිත් එක තමයි තමන් ගැන අධි තක්සේරුවකින් හිතන එක.කොල්ලෙක් තමන් දිහා බැලුවොත් උපරිම ඌට බලාපොරොත්තු දීලා පස්සෙන් ගෙන්න ගෙන ඌ යාළු වෙන්න අහපු ගමන් දුම්මල වරම ගත්තා වගේ කොල්ලට බනිනවා.ඒ වගේම සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලට එක උත්තරයක් දෙන්නේ නැතුව දොර බාගෙට ඇරලා තියන අය.ඒ කියන්නෙ කැමතිත් නෑ අකමැතිත් නෑ කියන එක. පාරේ බැහැලා යන්න බෑ අනේ කොල්ලො පස්සෙන් එනවා කියලා ඇස් පුංචි කරලා හිනා වෙලා කියන කෙල්ලන්ව හම්බෙලා තියනවද? මන්දා මට නං සෑහෙන්න එහෙව් අය හම්බෙලා තියනවා. මට අද වෙනකල් තේරුම් ගන්න බැරි වුනු ජාතියේ සෑහෙන්න කෙල්ලො හම්බෙලා තියනවා.
තව දෙයක් තමයි ඩයට් කරන එක.මම කියන්නේ සිරාවටම ඩයට් කරලා ඇග කෙට්ටු කර ගන්න ට්රනයි කරන අය ගන නෙමේ. බොරුවට ඩයට් කරන අය ගැන.ඒ කියන්නේ උරහිස් ඇට පෑදිච්ච කෙල්ලෝ අනේ මම ඩයට් කරනවා කියලා කියන කොට මට හිතෙනවා ඇයි මේවා අහන්න බලන්න මමත් කෙල්ලෙක් උනේ කියලා.ඩයට් කරන එක ෆැෂන් එකක් කරගත්ත අය ගැනයි මම මේ කථා කරන්නේ. පාර්ටීස් වලට ගියාම තමන් මේ දවස් වල ඩයට් කියලා වතුර වීදුරුවක් සූප්පු කර කර ඉන්න ඇට කටු පෑදෙන්න තරමට කෙට්ටු කෙල්ලෝ මට හම්බෙලා තියනවා. ඒ වගේ අය වෙන කෙල්ලෝ දක්කහම අය්යෝ අනේ ඔයාගේ බඩ ටිකක් වැඩි වෙලා වගේ.මම නං ඩයට් කියලා කියනවා මට සිය වාරයක් විතර ඇහිලා තියනවා.ඒකත් කෙල්ලන්ට තියන මම දන්න තවත් මානසික ලෙඩක්.
හැමදේම දිහා අප්පිරියාවෙන් බලන කෙල්ලන්ව දැකලා තියනවද? පුටුවක ඉදගන්න ගියොත් පස් හය පාරක් විතර පුටුව පිහිදාලා ලේන්සුවකුත් තියලා ඉදගන්න අය ඉන්නවා.එයාලා ඕනම දෙයක් අල්ලන්නේ ඇගිලි දෙකින්.කවුරුහරි ෆිට් එකට බත් එකක් ෂෙයාර් කරගෙන කන්න කථා කරොත් අනේ මට බඩගිනි නෑ කියලා කියලා අනිත් පැත්ත හැරෙනවා.ඒකේ හරි තේරුම ඊයා මං අනුන්ගෙ කෑම කන්නෙ නෑ කියන එක.බස් එකේ ඉදගෙන යනකොට පුළුවන් තරම් එහා පැත්තේ ඉන්න කෙනාගේ ඇගේ ගෑවෙන්නේ නැතුව සීට් එකේ ගුලි වෙලා යන අයව මං දැකලා තියනවා. ඩ්රනයිවර් බ්රේ්ක් එකක් ගැහුවොත් දත් මිටි කාගෙන වුනත් අනිත් පැත්තේ ඉන්න මනුස්සයාගේ ඇගේ ගෑවෙන්නේ නැතුව ඉන්න ට්රනයි කරනවා.
පෝස්ට් එක දිග මාගලක් කරන්න මට ඕන නෑ. එකත් එතකොට නීරස වෙනවා. කියන්න තියන අන්තිම දේ කෙල්ලන්එගේ හුරතලේ ගැන.මට දිරවන්නෙම නැති තවත් එකක් තමයි ඒක.ඇයි කෙල්ලෝ මේ තරම් හුරතල් වෙන්නේ?ඇඹරෙන්නේ?
ඔය දැන් හැම චැනල් එකකම යන ළමා වැඩසටහන් වල ළමා නිවේදිකාවෝ කථා කරන්නේ අමුතුම ටයිප් එකකටනේ.හැම වචනයක්ම දිගට ඇදලා මැදින් හිස් තැන් තියලා ඔලුව පැත්තට හරවලා ළමා නිවේදිකාවෝ හුරතල් වෙනවා.අන්න ඒ වගේ ගොඩක් කෙල්ලෝ හුරතල් වෙනවා. ඒ කියන්නේ එයාලා කථා කරන්නෙ හැම වචනයක්ම අග දිගට ඇදලා මැදින් කඩලා හිස් තැන් තියලා වචන ගිලලා අකුරු පටලවලා.කථා කරනවා විතරක් නෙමේ ගොඩක් අය මං දැකලා තියනවා ඒ ස්ටයිල් එකටම බ්ලොග් වල කමෙන්ට් කරනවා. යාන්තම් වචන අමාරුවෙන් ගළපලා කථා කරන අත දරුවෝ වගේ එයාලා කමෙන්ට් ටයිප් කරනවා. ඒවා දකිනකොට මම ගල් ගැහෙනවා.සිරාවටම මුන්ට පිස්සුද කියලා හිතෙනවා.
ළමා වැඩසටහන් වල පුංචි නිවේදිකාවෝ ළමයින්ව අමතන්නේ මගේ යාළු වගේ දේවල් කියලා. මං කොහේ හරි දැකලා තියනවා ලියන කෙල්ලෝ ඔන්න යාළු මම අදත් ආවා කතන්දරයක් අරන්..... වගේ දේවල් ලියනවා. එතකොට මට මැවෙන්නේ ඇග පතින් වැඩිලා තිබුනට මොළෙන් ලොකු වෙලා නැති තාමත් සූප්පුවක් කටේ ගහන් පැම්පස් එකක් ඇදන් ඉන්න කෙල්ලෙක්ව. සිරාවටම මේවා මහ ගොන් ජෝක්.ඇයි තමන්ට රියල් වෙන්න බැරි. මට ඒක නිතරම හිතෙනවා.
පුංචි උන් හුරතල් වෙන්න ඕන.ළමයි වැඩිහිටියෝ වගේ වුනාම ඒක කැතයි. ඒ වගේම කෙල්ලෝ පුංචි බබ්බු වගේ හුරතල් වෙන්න ගත්තහම ඒක ඊටත් වඩා කැතයි.
මට මේ අයව පේන්නේ ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන අය විදියට. හැමෝටම ෆැන්ටසි තියනවා. ඒත් රියලිටි එක මොකක්ද කියලා තේරෙන්නේ නැති තරමට ෆැන්ටසි ලෝකේ පිළිගන්න ඒක ඇතුලේ ජීවත් වෙන අය ඉන්නවා.ජීවිතේ කියන්නේ ඇවිදින්න වෙන දුවන්න,
පනින්න, රිදෙන,තුවාල වෙන මේ හැම දේකම එකතුවක්.සුරංගනාවියෝ වගේ වළාකුලක් උඩ ජීවත් වුනොත් පොළොවට වැටුනු දවසට හැමදේම කන පිට හැරවෙනවා. ජීවිතේට හැම දේම වෙන්න දෙන්න කියන එකයි මගේ තියරි එක. හෙට දවස ගැන පොඩි ප්ලෑන් එකක් තිබුනට මුළු අනාගතයටම ප්ලෑන් ගහන්න බෑ.ඒක මාර විහිළුවක්.ඕනම මොහොතක ඕනිම දෙයක් අපිට සිද්ධ වෙන්න පුළුවන්.
මං දන්න එකෙක් හිටියා. මිනිහට හොද රස්සාවක්,වාහනයක්,කෙල්ලෙක් ඉන්නවා.ඌට ලොකු ප්‍රශ්න නෑ. ඒත් මිනිහා හැම තිස්සේම ඉන්නේ හෙණ ගෙඩියක් ඔලුවට කඩන් වැටුනා වගේ.මිනිහාගේ ජීවිතේ පට්ටම නීරසයි.ඌ ගෙවන හැම දවසක්ම එකම විදියයි. අලුත් කිසිම දෙයක් නෑ. ඊටත් වඩා මනුස්සයෙක් එක්ක හිනා වෙලා කථා කරන්න දන්නෙ නෑ. කිසිම හේතුවක් නැතුව ඌ ඉන්නේ බාගෙට මැරිච්ච එකෙක් වගේ. මට හිතුනේ මෙච්චරයි. එක දවසක ඌ පාරේ යනකොට අඩුමතරමේ උගෙ ඔලුවට පිස්තෝලයක් තියලා කවුරුහරි සෙට් එකක් මිනිහගේ කාර් එක උස්සන්න ඕන. එහෙමත් නැත්තං අල්ලං ගිහින් රිදෙන්න ගහන්න ඕන.වෙනවට කිව්වෙ නැති වුනාට මේ වගේ අවුල් දෙයක් හරි වුනොත් අඩුම තරමේ ඌට අලුතින් හිතන්න ප්‍රශ්නයක් හරි තියෙයි.අඩුම තරමින් ඌ ඒ මොහොතේ ලේ තියන මිනිහෙක් වගේ දුවලා පැනලා විසදුමක් හොයයි..ප්‍රශ්න නැති ජීවිත නෑ. ප්‍රශ්න කියන්නේ ජීවිතය. ඒවා විසදන එකටයි අපි කියන්නේ ජීවත් වෙනවා කියලා. මෙහෙම එන ප්‍රශ්න අපිව ජීවිතේ කොතන්ට එක්කගෙන යයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසයි ෆැන්ටසිවත් දිග ප්ලෑන්වත් ජීවිතේට සෙට් වෙන්නේ නැත්තේ. පොළොවේ පහ ගහලා ජීවත් වෙන උන්ට ඕනම තැනකට සෙට් වෙන්න පුළුවන්.
කෙල්ලෙක් වුනාම අමුතු ආරක්ෂක කොටු ගහගන්න ඕනි නෑ. කාටවත් ජීවත් වෙන හැටි උගන්නන්න කිසි එකෙක්ට බෑ. ධනාත්මක චින්තනය කියලා එක එක තියරි හදාගෙන මිනිස්සුන්ගේ දුර්වල තැන් වලට ඒවා මාකර්ට් කරන බිස්නස් කාරයින්ටත් බෑ තව එකෙක්ට ජීවත් වෙන හැටි උගන්නන්න. අනුන්දෙන ටොපි කන්න එපා කියලා පුංචි කාලේ අපේ අම්මලා කිව්වත් ලොකු උනාම දන්න උන්ගෙම ටොපි කීයක් නං ගිලලා දිරවගන්න බැරි වුනු අවස්ථා අපි හැමෝගෙම ජීවිත වල ඇති. එහෙම නෑ කියලා කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.තවත් කෙනෙක්ට මොනයම් දේකට හරි රැවටුනේ නැති එකෙක් ඉන්නවා නං ඒකත් පුදුමයක්. මිනිස්සුන් කියවන්න ඕන උන් එක්ක ජීවත් වෙලා මිසක් කොටු ගහගෙන ඒවා ඇතුලේ ඉදන් මිනිස්සු දිහා බලන් ඉදලා නෙමේ.
බ්ලොග් වලින් මිනිස්සු හදන්න බෑ.එහෙම හිතාගෙන ඉන්න උන් ඉන්නවා නං ඒක මෝඩකමක්.මං කරන්නේ මගේ කියවීම සහ දැකීම බ්ලොග් එකේ ලියලා නිදහස් වෙන එක විතරයි.මම ලිව්වේ මට දිරවන්නේ නැති පොළොවෙන් අඩි ගාණක් උඩින් ඉන්න කෙල්ලෝ ගැන මිසක් ජීවිතේ ජීවත් වෙන හැටි කෙල්ලන්ට කියලා දෙන්න නෙමේ.
